නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 15 ක් උතුරු හා නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 අගෝස්තු මස 25 සහ 26 දෙදින ලංකාපටුන, කුච්චවේලි හා ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ සහ යාපනය චලෙයි මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2023 අගෝස්තු මස 25 වන දින නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික තඨාකාංගණය සහ ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනයන් මඟින්, ලංකාපටුන සහ ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයන්හිත්, 2023 අගෝස්තු මස 26 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින් ත්‍රිකුණාමලය කුච්චවේලී මුහුදු ප්‍රදේශයේත් සහ උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික අනුඛණ්ඩය මඟින් යාපනය චලෙයි මුහුදු ප්‍රදේශයේත් සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පහලොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා හයක් (06) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් වයස අවුරුදු 17 ත් 38 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් ත්‍රිකුණාමලය, ඉචාලම්පත්තු, කුච්චවේලී සහ පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගත් අතර, එම පුද්ගලයින් පහළොස් දෙනා (15), ඩිංගි යාත්‍රා හය (06) සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, කොඩ්බේ, කුච්චවේලී සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරිණි.