නැගෙනහිර මුහුදේදී හදිසි රෝගාබාධයකට ලක්වූ මඟී ප්‍රවාහන නෞකාවක සිටි ඉන්දීය ජාතිකයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා සහය

ශ්‍රී ලංකාවට නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදේදී හදිසි රෝගාබාධයකට ලක්වූ ‘MV Empress’ නමැති මඟී නෞකාවේ සිටි ඉන්දීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද දින (2023 අගෝස්තු 29) කටයුතු කෙරිණි.

‘MV Empress’නමැති මඟී නෞකාවේ සිටින ඉන්දීය ජාතිකයෙකු හදිසි රෝගාබාධයකට ලක්වූ බවත්, එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙසත්, ‍නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත එම මඟී නෞකාව වෙතින් සිදුකල දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි එම ඉන්දීය ජාතිකයා ගොඩබිමට රැගෙන ඒම සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 491 වේග ප්‍රහාරක යාත්‍රාව එම මඟී නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරිණි. අනතුරුව, අසාධ්‍ය තත්වයේ සිටි ඉන්දීය ජාතිකයා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මෙලෙස යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

තවද, ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.