නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, පිටිපන කළපු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් හාරසිය හතලිහක (440) පමණ තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් මීගමුව, පිටිපන කළපු ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ තිබී උර පහළොවක (15) අසුරන ලද බීඩි කොළ කිලෝ හාරසිය හතලිහයි (440) ග්‍රැම් නවසියයක (900) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝ හාරසිය හතලිහයි (440) ග්‍රැම් නවසියයක (900) පමණ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.