විදේශීය දුම්වැටි 3000 ක් සමඟ සැකකරුවෙක් කොළඹ දී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 වන දින සවස් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි තුන්දහසක් (3000) ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු (01) සමඟ වෑන් රථයක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිරන්තර දායකත්වය ලබා දෙනු ලබයි. ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ කොළඹ වෙරළබඩ පොලීසිය එක්ව, 2023 අගෝස්තු මස 29 වන දින සවස් කාලයේ කොළඹ පංචිකාවත්ත ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, පංචිකාවත්ත මංසන්ධියේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ සැකකටයුතු වෑන් රථයක් නීරක්‍ෂණය කර පරික්ෂා කිරීමේදී, එම වෑන් රථයේ නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් තිබූ විදේශීය දුම්වැටි තුන්දහසක් (3000) සමඟ සැකකරුවෙකු (01) සහ එම වෑන් රථය මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් දෙකක් (32) වන කොළඹ 13, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01), විදේශීය දුම්වැටි තුන්දහසක (3000) තොගය සහ වෑන් රථය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොළඹ වෙරළබඩ පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.