මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සූක්‍ෂම ලෙස සකසන ලද කුටීරයක් සහිත කැබ් රථයක් සමඟ සැකකරුවන් 05 ක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යය බළකාය එක්ව යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ 2023 අගෝස්තු මස 29 සහ 30 යන දිනයන්හීදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ඉතා සූක්‍ෂම ලෙස සකසන ලද කුටීරයක් සහිත කැබ් රථයක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05), යතුරු පැදියක් (01) සහ රුපියල් මිලියන පහළොවක (15) මුදලක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන වෙත නිරන්තර දායකත්වය ලබා දෙනු ලබයි. ඒ අනුව, නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර හා වේළුසුමන යන ආයතන සහ යාපනය පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව, 2023 අගෝස්තු මස 29 වන දින රාත්‍රියේ යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී, එම ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් තිබූ සැකකටයුතු කැබ් රථයක් නීරක්‍ෂණය කර පරික්ෂා කිරීමේදී, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා සූක්‍ෂම ලෙස සකසන ලද බවට සැකකෙරෙන කූටීරයක් සහිත එම කැබ් රථය (01) සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට සැකකෙරෙන පුද්ගලයන් තිදෙනෙකු (03) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, එම සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත 2023 අගෝස්තු මස 30 වන දින සවස් කාලයේ යාපනය, උරුම්පිරායි සහ මාදගල් ප්‍රදේශයන්හි සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මඟින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන තවත් පුද්ගලයින් දෙදෙනෙකු (02) සමඟ යතුරු පැදියක් (01) සහ රුපියල් මිලියන පහළොවක (15) මුදලක් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 53 ත් අතර වයසේ පසුවන මාදගල්, උරුම්පිරායි සහ ඌව කුඩා ඔය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් කැබ් රථය, සැකකරුවන් පස්දෙනා (05), යතුරු පැදිය සහ රුපියල් මිලියන පහළොවක (15) මුදල ඉදිරි නිතීමය කටයුතු සඳහා යාපනය, කෝපායි පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.