නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නැගෙනහිර මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී කාලයේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී කාලයේ නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික තඨාකාංගණය මඟින් ත්‍රිකුණාමලය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 20 ත් 60 ත් අතර වයසේ පසුවන ත්‍රීකුණාමලය, චීන වරාය සහ නිලාවේලි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලදි. තවද, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් දොළොස් දෙනා (12) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොඩ්බේ, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්‍ෂිතව තබා ඇත.