නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 සැප්තැම්බර් මස 09, 10 සහ අද දින (2023 සැප්තැම්බර් 11) ත්‍රීකුණාමලය නිලාවේලි හා කින්නියා වෙරළ තීරයේ සහ යාපනය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2023 සැප්තැම්බර් මස 09 සහ 10 දෙදින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය මඟින් ත්‍රිකුණාමලය නිලාවේලි වෙරළ ප්‍රදේශයේ සහ අඩුක්කුපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

උතුරු නාවික විධානය මඟින් 2023 සැප්තැම්බර් මස 10 වන දින අළුයම් කාලයේ එම විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීම මඟින් යාපනය චලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙකු (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, අද දින (2023 සැප්තැම්බර් මස 11) නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝකණ්ණ හා පැරකුම්බා යන ආයතන, ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය හා එක්ව කින්නියා සින්නමුලච්චේන වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයන් දෙදෙනෙකු (02) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 51 ත් අතර වයසේ පසුවන නිලාවේලි, ත්‍රීකුණාමලය සහ කින්නියා යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් දොළොස් දෙනා (12), ඩිංගි යාත්‍රා හතර (04) කිමිදුම් උපකරණ සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරිණි.