නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 2223 ක පමණ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 12 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන එන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් දෙදහස් දෙසිය විසි තුනක (2223) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය විසින් 2023 සැප්තැම්බර් මස 12 වන දින රාත්‍රී කාලයේ පුත්තලම ඉලන්තඩිය වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ තිබී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන පාර්සල් හැත්තෑවක (70) අසුරන ලද බීඩි කොළ කිලෝ දෙදහස් දෙසිය විසි තුනයි (2223) ග්‍රෑම් සියයක (100) පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භරයට ගැනීමට කටයුතු කෙරිණි. ‍එමෙන්ම, මෙම ජාවාරමට සම්බන්ධ බවට සැකකෙරෙන යතුරු පැදියක් ද එහිදී නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් යතුරු පැදිය නොරොච්චෝල පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, බීඩි කොළ කිලෝ දෙදහස් දෙසිය විසි තුනයි (2223) ග්‍රෑම් සියයක (100) පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.