මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 සැප්තැම්බර් මස 13 වන දින සවස් කාලයේ යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයන්හි සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දහහත් දෙනෙකු (17) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව මෙරට මුහුදු තීරයේ නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින්, 2023 සැප්තැම්බර් මස 13 වන දින සවස් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී, අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් නිරීක්‍ෂණය කර, උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක යාත්‍රා බලඝණයේ වේග ප්‍රහාරක යාත්‍රාවන් යොදවා එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, යාපනය, කකරතිව් දූපතට හා කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දහහත් දෙනෙකු (17) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා තුන (03) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දහහත් දෙනා (17) කන්කසන්තුරය වරාය වෙත රැගෙන එන ලද අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟ නාවික හමුදාව 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් ඉන්දීය ධීවර යාත්‍රා 17 ක් සහ ඉන්දීය ධීවරයින් 110 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.