නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ තොගයක් කල්පිටිය වන්නිමුන්දලම කලපුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව කල්පිටිය, වන්නිමුන්දලම් කළපු ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 13 වන දින සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය ඔස්සේ නීති විරෝධි ලෙස රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය තිස් නවයක (639) තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය, වන්නිමුන්දලම් කළපු ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 13 වන දින සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී, එම කළපු ප්‍රදේශය ඔස්සේ ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාව තුළ තිබී උර දහනවයක (19) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය තිස් නවයක (639) තොගයක් (තෙත බර සහිත) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) සහ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා (02) වයස අවුරුදු 23 ත් 45ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇති අතර, එම සැකකරුවන් ‍දෙදෙනා (02), බීඩි කොළ කිලෝග්‍රෑම් හයසිය තිස් නවයක (639) තොගය (තෙත බර සහිත) සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.