නාවික හමුදාව මඟින් ගාල්ල දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්

ගාල්ල, දොඩංගොඩ ප්‍රදේශයේ ගිං ග‍ඟ හරහා ඉදි කර ඇති දොඩංගොඩ පාලම තුළ සිරවූ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක්, නාවික හමුදාව විසින් අද දින (2023 සැප්තැම්බර් 20) ක්‍රියාත්මක කෙරිණි.

තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගිං ග‍ඟෙහි ජල මට්ටම ඉහළ යාමත් සමඟ ජල පහරට හසුව ගසාගෙන එනු ලබන කැළිකසළ, දැව කඳන් සහ උණ පඳුරු ඇතුළු අපද්‍රව්‍ය ගිංගඟ හරහා ඉදිකර ඇති පාලම් තුළ සිරවී ජලය ක්‍රමවත්ව බැස යාම අවහිර වීම මඟින් ප්‍රදේශයේ ඇතිවිය හැකි ගං වතුර අවධානම වැළැක්වීම සඳහා අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාව විසින් නිරන්තර දායකත්වය දක්වයි.

ඒ අනුව, අද දින (2023 සැප්තැම්බර් 20) දකුණු නාවික විධානය මඟින් එම විධානයට අනුයුක්ත කිමිදුම් හා ක්‍ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණයේ කණ්ඩායමක් යොදවා, ගාල්ල දොඩංගොඩ ප්‍රදේශයේ ගිංගඟ හරහා ඉදිකර ඇති දොඩංගොඩ පාලම තුල සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කර ජලය ක්‍රමවත්ව බැස යාමට අවශ්‍ය ක‍ටයුතු සිදු කෙරිණි.