රුපියල් මිලියන 132 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් මීගමුවේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, මීගමුව මංකුලිය කළපු ප්‍රදේශයේදී අද දින (2023 සැප්තැම්බර් 21) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හාර සියයකට (400) අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය මඟින් අද දින (2023 සැප්තැම්බර් 21) මීගමුව මංකුලිය කළපු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී එම කළපු ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී, එම ඩිංගි යාත්‍රාවේ සූක්ෂම ලෙස සඟවා තිබූ පාර්සල් දහයක (10) අසුරන ලද, කේරළ ගංජා කිලෝ හාර සියයි (400) ග්‍රෑම් අට සියය දහයක (810) පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන එකසිය තිස් දෙකකට (132) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කිලෝ හාර සියයි (400) ග්‍රෑම් අට සියය දහයක (810) පමණ තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා මීගමුව සුරාබදු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.