නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1236 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 02 ක් පුත්තලමේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම දළුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව 2023 සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධි ලෙස රැගෙනවිත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය තිස් හයක (1236) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02), කැබ් රථයක් (01) සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් 2023 සැප්තැම්බර් මස 26 වන දින රාත්‍රී කාලයේ පුත්තලම දළුව වෙරළ ප්‍රදේශය ආශ්‍රිතව සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු කැබ් රථයක් (01) සහ ලොරි රථයක් (01) ‍නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් එම රථ තුල ප්‍රවාහනයට සූදානම් කර තිබූ පාර්සල් හතලිහක (40) අසුරන ලද බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය තිස් හයක (1236) පමණ තොගයක්, සැකකරුවන් දෙදෙනෙක් (02) සමඟ එම කැබ් රථය (01) සහ ලොරි රථය (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 24 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් දෙසිය තිස් හයක (1236) පමණ තොගය, සැකකරුවන් දෙදෙනා (02), කැබ් රථය (01) සහ ලොරි රථය (01) ඉදිරි නිතිමය කටයුතු සදහා මදුරන්කුලිය පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇත.