නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 03 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින අළුයම් කාලයේදී සිදු කල විශේෂ මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසිය පනහක (250) පමණ තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, 2023 සැප්තැම්බර් මස 27 වන දින අළුයම් කාලයේදී උතුරු නාවික විධානයට අයත් නාවික ස්ථානගතකිරීම් වෙත්තලකේනි ආයතනයට අනුයුක්ත මැරීන් බලඝණය මඟින් යාපනය, නගර්කෝවිල් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකටයුතු ඩිංගි යාත්‍රා පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, වලංගු බලපත් රහිතව එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු (03) සමඟ කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් ගණනින් දෙසිය පනහක (250) පමණ තොගයක් සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 27 ත් 46 ත් අතර වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන් තිදෙනා (03), කිමිදුම් උපකරණ, ඩිංගි යාත්‍රාව (01) සහ මුහුදු කූඩැල්ලන් දෙසිය පනහක (250) පමණ තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.