රුපියල් මිලියන 33 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය කරෙයිනගර් දූපතේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කරෙයිනගර් දූපතේ, පූමට්ටෙයි වෙරළ ප්‍රදේශයේ 2023 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රී කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් සියයකට (100) අධික තොගයක් (තෙත බර සහිත) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා එළාර ආයතනය මඟින් 2023 සැප්තැම්බර් මස 27 වන දින රාත්‍රී කාලයේ යාපනය කරෙයිනගර් දූපතේ, පූම්මාටෙයි වෙරළ ප්‍රදේශයේ සිදු කල මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ‍එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ඩිංගි යාත්‍රාවේ උර තුනක් (03) තුල පාර්සල් හතලිස් නවයක (49) අසුරන ලද කේරළ ගංජා කිලෝ සියයයි (100) ග්‍රෑම් අසූ පහක (85) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන තිස් තුනකට (33) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා කිලෝ සියයයි (100) ග්‍රෑම් අසූ පහක (85) පමණ තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා භාරදෙන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.