නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 15 ක් ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, 2023 ඔක්තෝබර් මස 03 සහ 04 යන දිනයන්හීදී ත්‍රිකුණාමලය බෝල්ඩර් තුඩුව අසල මුහුදු ප්‍රදේශයේ, වලායිතොට්ටම් වෙරළ ප්‍රදේශයේ සහ නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් පහළොස් දෙනෙකු (15) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2023 ඔක්තෝබර් මස 03 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනය මඟින් බෝල්ඩර් තුඩුව අසල මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකාපටුන ආයතනය මඟින් 2023 ඔක්තෝබර් මස 03 වන දින වලායිතොට්ටම් වෙරළ ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදු කිරීමට සූදානම් වෙමින් සිටි පුද්ගලයෙකු (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

2023 ඔක්තෝබර් මස 04 වන දින නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා මහවැලි ආයතනය මඟින් නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 20 ත් 47 ත් අතර වයසේ පසුවන කින්නියා සහ පොඩුවකට්ටු යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, ත්‍රිකුණාමලය බෝල්ඩර් තුඩුව අසල මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හත් දෙනා (07), ඩිංගි යාත්‍රාව (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්නඉදිරි නීතිමය කටයුතු සඳහා කුච්චවේලී ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත්, වලායිතොට්ටම් වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරු (01), ඩිංගි යාත්‍රාව (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය සහකාර ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙතත් නෝර්වේ දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් හත් දෙනා (07), ඩිංගි යාත්‍රාව (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොඩ්බේ ධීවර පරීක්ෂක කාර්යාලය වෙතත් භාර දීමට කටයුතු කෙරිණි.