නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයන් 07 ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සහ යාපනය, මණ්ඩතිව් ටී හංදිය මාර්ග බාධකයේ 2023 ඔක්තෝබර් මස 25 සහ 26 යන දිනයන්හීදී සිදු කල විශේෂ මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල සහ සහ වලංගු බලපත්‍ර රහිතව මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කල පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ මුහුදු කූඩැල්ලන් හයසිය විස්සක (620) ක පමණ තොගයක්, ඩිංගි යාත්‍රාවක් (01), ත්‍රීරෝද රථයක් (01) සහ කිමිදුම් උපකරන නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2023 ඔක්තෝබර් මස 25 වන දින රාත්‍රී කාලයේදී උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය මඟින් තලෙයිමන්නාරම, ඌරුමලෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබු සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකල පුද්ගලයන් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් එකසිය විස්සක ප්‍රමාණයක් (120), ඩිංගි යාත්‍රාව (01) සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2023 ඔක්තෝබර් මස 26 වන දින සවස් කාලයේ උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනය මඟින් යාපනය, මණ්ඩතිව් ටී හංදිය මාර්ග බාධකයේදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ත්‍රීරෝද රථයක් නවත්වා පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ත්‍රීරෝද රථයේ තිබී වලංගු බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබු මුහුදු කූඩැල්ලන් පන්සියයක ප්‍රමාණයක් (500) සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (02) සහ එම ත්‍රීරෝද රථය (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 43 ත් වයසේ පසුවන තලෙයිමන්නාරම සහ යාපනය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් මුහුදු කූඩැල්ලන් හයසිය විස්සක (620) පමණ තොගය, සැකකරුවන් හත් දෙනා (07), ඩිංගි යාත්‍රාව (01), ත්‍රීරෝද රථය (01) සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත සහ කයිට්ස් පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.