මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 05 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 ඔක්තෝබර් මස 28 වන දින සවස් කාලයේ සහ අද දින (2023 ඔක්තෝබර් 29) අළුයම් කාලයේ මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සහ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුම් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පහක් (05) සමඟ ඉන්දීය ධීවරයින් තිස්හත් දෙනෙකු (37) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2023 ඔක්තෝබර් මස 28 වන දින සවස් කාලයේ සහ අද දින (2023 ඔක්තෝබර් 29) අළුයම් කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු මැද සහ උතුරු නාවික විධානයන් මඟින්, නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයන්ට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා, වෙරළබඩ මුර යාත්‍රා සහ කුඩා යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, මන්නාරමට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් විසිතුන් දෙනෙකු (23) උතුරු මැද නාවික විධානය මඟින් සහ යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් දාහතර දෙනෙකු (14) උතුරු නාවික විධානය මඟින් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා පහ (05) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් තිස්හත් දෙනා (37) තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟින් නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 27 ක්‍ සහ ඉන්දීය ධීවරයින් 174 ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට සමත්ව ඇත.