රුපියල් මිලියන 41 කට අධික වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 02 ක් යාපනයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය වඩුකොඩ්ඩායි වෙරළ ප්‍රදේශයේදී අද දින (2023 ඔක්තෝබර් 29) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය හතරක (104) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ ත්‍රීරෝද රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා උත්තර හා අග්බෝ ආයතන මඟින් අද දින (2023 ඔක්තෝබර් 29) යාපනය වඩුකොඩ්ඩායි වෙරළ ප්‍රදේශය අසල මාර්ගයකදී විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදි. එහිදී සැකකටයුතු ලෙස ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී එම ත්‍රීරෝද රථයේ තිබී උර තුනක් (03) තුළ පාර්සල් පනහක (50) අසුරන ලද, කේරළ ගංජා කිලෝ කිලෝග්‍රෑම් එකසිය හතරක (104) තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතලිස් එකකට (41) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25-40 ක් වන මාදගල් සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය හතරක (104) තොගය සහ ත්‍රීරෝද රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා වඩුකොඩ්ඩායි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.