නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් 02 ක් කල්පිටියේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය, කරෙයිතිව් හා පල්ලියවත්ත මුහුදු ප්‍රදේශයන්හීදී අද දින (2023 ඔක්තෝබර් 29) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශ ඔස්සේ නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් වෙරළබඩ මුර යාත්‍රාවක් යොදවා කල්පිටිය, කරෙයිතිව් මුහුදු ප්‍රදේශයයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී, එම මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රාකරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමේදී, නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල උර පහළොවක (15) අසුරන ලද කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ එම ඩිංගි යාත්‍රාව (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, පල්ලියවත්ත මුහුදු ප්‍රදේශයේ සිදුකල වැඩිදුර පරීක්ෂාවේදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් අතහැර දමා ගොස් තිබූ උර හතක (07) අසුරන ලද තවත් කෘමිනාශක තොගයක් නාවික හමුදා භාරයට ගැනීම සිදු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 43 ක් හා 46 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් දෙදෙනා (02), කෘමිනාශක තොගය සහ ඩිංගි යාත්‍රාව (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.