නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 12 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 නොවැම්බර් 29) අළුයම සිලාවතුර කොන්ඩච්චිකුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), මුහුදු කූඩැල්ලන් එක්දහස් හයසියය හත්තෑවක (1670) පමණ තොගයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, අද දින (2023 නොවැම්බර් 29) අළුයම වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර කොන්ඩච්චිකුඩා ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රා හතරක් (04) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් දොළොස් දෙනෙකු (12) සමඟ මුහුදු කූඩැල්ලන් එක්දහස් හයසියය හත්තෑවක (1670) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ එම ඩිංගි යාත්‍රා හතර (04) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 23 ත් 48 ත් අතර වයසේ පසුවන කල්පිටිය, සිලාවතුර, වංකාලේ සහ මන්නාරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් දොළොස් දෙනා (12), ඩිංගි යාත්‍රා හතර (04), මුහුදු කූඩැල්ලන් එක්දහස් හයසියය හැත්තෑවක (1670) පමණ තොගය සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.