නීති විරෝධි ලෙස රැගෙන ආ බීඩි කොළ තොගයක් නොරොච්චෝලේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව නොරොච්චෝල, සේතපොල ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 07) අළුයම සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් දෙසිය අසූහයක (1286) පමණ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණී ආයතනය මඟින් නොරොච්චෝල, සේතපොල ප්‍රදේශයේ අද දින (2023 දෙසැම්බර් 07) අළුයම් කාලයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු කැබ් රථයක් පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම කැබ්රථය තුල උර 41 ක අසුරා ප්‍රවාහනය කිරීමට උත්සාහ කල නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් එක් දහස් දෙසිය අසූහයක (1286) පමණ තොගයක් සමඟ එම කැබ් රථය (01) සහ සැකකරුවන් දෙදෙනෙක් (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ක් සහ 28 ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, මෙම බීඩි කොළ කිලෝ ග්‍රෑම් එක් දහස් දෙසිය අසූහයක (1286) පමණ තොගය, සැකකරුවන් දෙදෙනා (02) සහ කැබ් රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝල පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.