මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රා 02 ක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2023 දෙසැම්බර් මස 09 වන දින රාත්‍රී කාලයේ පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු (25) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

විදේශීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම උදෙසා සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය රැකදීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.

ඒ අනුව, 2023 දෙසැම්බර් මස 09 වන දින රාත්‍රී කාලයේ මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානයන් මඟින්, නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් එම විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රා යොදවා සිදු කෙරිණි. එහිදී, පේදුරුතුඩුවට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ ඉන්දීය ධීවරයින් විසිපස් දෙනෙකු (25) උතුරු නාවික විධානය මඟින් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා දෙක (02) සහ එහි සිටි ඉන්දීය ධීවරයින් විසිපස් දෙනා (25) කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.

තවද, මෙම මෙහෙයුමත් සමඟින් නාවික හමුදාව විසින් 2023 වර්ෂයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම් මඟින් මෙරට මුහුදු සීමාව තුල අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා 33 ක්‍ සහ ඉන්දීය ධීවරයින් 220 ක් නාවික හමුදා භාරයට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කර ඇත.