නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 07 ක් සිලාවතුරේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව අද දින (2023 දෙසැම්බර් 13) අළුයම සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ ඩිංගි යාත්‍රා දෙකක් (02), මුහුදු කූඩැල්ලන් අටසියය හැත්තෑ හතරක (874) පමණ ප්‍රමාණයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, අද දින (2023 දෙසැම්බර් 13) අළුයම වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය මඟින් සිලාවතුර ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් හත් දෙනෙකු (07) සමඟ මුහුදු කූඩැල්ලන් අටසියය හැත්තෑ හතරක (874) පමණ ප්‍රමාණයක්, කිමිදුම් උපකරණ සහ එම ඩිංගි යාත්‍රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 22 ත් 48 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයෙහි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් හත් දෙනා (07), ඩිංගි යාත්‍රා දෙක (02), මුහුදු කූඩැල්ලන් අටසියය හැත්තෑ හතරක (874) පමණ ප්‍රමාණය සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා සිලාවතුර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.