නැගෙනහිර මුහුදේදී රෝගී වූ ඉන්දියානු නාවික හමුදා සාමාජිකයෙකු ප්‍රතිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා සහය

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS Sahyadri’ නෞකාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ යාත්‍රා කරමින් සිටියදී හදිසියේ රෝගී වූ එම නෞකාවේ සිටි ජ්‍යේෂ්ඨ නාවිකයෙකු හදිසි ප්‍රථිකාර සඳහා යොමු කිරීමට එම නෞකාව මඟින් අද දින (2023 දෙසැම්බර් 13) ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ආ අතර, එම ජ්‍යේෂ්ඨ නාවිකයා ප්‍රතිකාර සඳහා යොමු කිරිමට ශ්‍රී ලංකා නාවික හමුදා‍ සහය ලබාදීමට කටයුතු කෙරිණි.

ඉන්දියාවේ විශාකාපට්නම් වරායේ සිට පැමිණි ‘INS Sahyadri’ නෞකාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුද හරහා යාත්‍රා කරමින් සිටියදී, එහි සිටි ජ්‍යේෂ්ඨ නාවිකයෙකු හදිසියේ රෝගී වීමෙන් කඩිනම් ප්‍රතිකාර සඳහා ගුවන් මඟින් ඉන්දියාව බලා පිටත් කර හැරීමට අද දින (2023 දෙසැම්බර් 13) සන්ද්‍යාවේ ත්‍රිකුණමලය වරාය වෙත රැගෙන එන බවත්, ඒ සඳහා අවශ්‍ය සහය ලබා දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මඟින් නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම් දීමක් සිදු කෙරිණි.

ඒ අනුව එම දැනුම්දීමට වහාම ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, ‘INS Sahyadri’ නෞකාව මඟින් ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ආ අසාද්‍ය තත්වයේ සිටි ඉන්දීය නාවික හමුදා සාමාජිකයා කඩිනමින් චීන වරාය ගුවන් තොටුපල වෙත රැගෙන යාම සඳහා නැගෙනහිර නාවික විධාන රෝහලට අයත් වෛද්‍ය කාර්ය මණ්ඩලයක් සමඟ ගිලන් රථයක් යොමු කෙරිණි. රෝගියා වෙත ප්‍රථමාධාර ලබා දෙමින් කඩිනමින් චීන වරාය ගුවන් තොටුපල වෙත රැගෙන ගොස්, වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන්දීයාව වෙත රැ‍ගෙන යාමට චීන වරාය ගුවන් තොටුපලට පැමිණි ඉන්දීය ගුවන් හමුදා යානාවක් වෙත භාරදීමට කටයුතු කෙරිණි.

තවද, රෝගියා ප්‍රථිකාර සඳහා යොමු කිරීමෙන් පසු ‘INS Sahyadri’ නෞකාව අද දින (2023 දෙසැම්බර් 13) ත්‍රීකුණාමලය වරායෙන් පිටත් වූ අතර, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටී.