අක්‍රිය වූ පේර ආරු ජලාශයේ ජලය බැහැර කිරීමේ දොරටු පිළිසකර කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය

අධික වර්ෂාව හේතුවෙන් වව්නියාව දිස්ත්‍රික්කයේ පේරාරුකුලම් ප්‍රදේශයේ පිහිටි පේර ආරු ජලාශයට එකතු වන අමතර වැසි ජලය ගලා යාම සඳහා ජලාශයේ අක්‍රිය තත්වයේ පැවති දොරටු පිළිසකර කිරීම සඳහා 2023 දෙසැම්බර් මස 16 සහ 17 යන දිනයන්හීදී නාවික හමුදා කිමිදුම් සහය ලබාදීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

වව්නියාව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජලසම්පාදන මණ්ඩලය යට‍තේ ක්‍රියාත්මක වන පේර ආරු ජලාශයේ ජලය බැහැර කරනු ලබන දොරටු අක්‍රිය වී ඇති බැවින්, එම දොරටු යථා තත්වයට පත් කිරීම සඳහා නාවික හමුදා කිමිදුම් සහය ලබා දෙන ලෙස, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මඟින් සිදුකල ඉල්ලීමකට අනුව නාවික හමුදාව විසින් මෙම කිමිදුම් සහය ලබාදීම, උතුරු මැද නාවික විධානයට අයත් කිමිදුම් කණ්ඩායමක් මඟින් සිදු කෙරිණි.

ඒ අනුව, නාවික හමුදා කිමිදුම් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් යොදා 2023 දෙසැම්බර් මස 16 සහ 17 යන දිනයන්හීදී පේර ආරු ජලාශයේ මඩ සොරොව්ව ඇතුළු ජලය බැසයන දොරටු පිළිසකර කර කඩිනමින් යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කෙරිණි.

තවද, මෙවැනි හදිසි තත්වයකදී සිය වෘත්තීය දායකත්වය ලබා දීමට නාවික හමුදාව නිරතුරුව සුදානමින් සිටී.