නීති විරෝධී ලෙස ධීවර කටයුතු සිදුකළ පුද්ගලයින් 08 ක් වයඹ මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව 2023 දෙසැම්බර් මස 19 වන දින කල්පිටිය, බත්තලංගුන්ඩුව සහ උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ ඩිංගි යාත්‍රා තුනක් (03), මුහුදු කූඩැල්ලන් එක්දහස් නවසිය අනු පහක (1995) පමණ තොගයක් සහ කිමිදුම් උපකරණ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2023 දෙසැම්බර් මස 19 වන දින වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අයත් සෙඩ්‍රික් යාත්‍රාවක් සහ වෙරළබඩ මුර යාත්‍රාවක් ‍යොදවා කල්පිටිය, බත්තලංගුන්ඩුව සහ උච්චමුනේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් (03) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, නීති විරෝධී ලෙස රාත්‍රී කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙකු (08) සමඟ මුහුදු කූඩැල්ලන් එක්දහස් නවසිය අනු පහක (1995) පමණ තොගයක්, කිමිදුම් උපකරණ සහ එම ඩිංගි යාත්‍රා තුන (03) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, මෙම මෙ‍හෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් පුද්ගලයන් වයස අවුරුදු 19 ත් 56 ත් අතර වයසේ පසුවන පුත්තලම සහ කල්පිටිය යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් අට දෙනා (08), ඩිංගි යාත්‍රා තුන (03), මුහුදු කූඩැල්ලන් තොගය සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.