නීති විරෝධි ලෙස හක් බෙල්ලන් 14163 ක් ගබඩා කර සිටි පුද්ගලයින් 03 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, මන්නාරම ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ 2024 ජනවාරි මස 15 වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් දාහතර දහස් එකසිය හැට තුනක (14163) පමණ තොගයක් ගබඩා කර සිටි පුද්ගලයින් තිදෙනෙකු (03) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, 2024 ජනවාරි මස 15 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා සහ ඵුස්සදේව ආයතන, මන්නාරම පොලිස් ප්‍රාදේශීය අපරාධ විමර්ශන කාර්යාංශය හා එක්ව, මන්නාරම, ඉරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, එම ප්‍රදේශයේ සැකකටයුතු නිවසක් පරික්‍ෂාවට ලක් කෙරිණි. එහිදී, එම නිවසේ ගබඩා කර තිබූ වට ප්‍රමාණය මිලිමීටර් 70 යන අනුමත නෛතික සීමාව නොමැති හක් බෙල්ලන් ගණනින් දාහතර දහස් එකසිය හැට තුනක (14163) පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ එක් සැකකාරියක් (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24 ත් 33 ත් අතර වයසේ පසුවන මන්නාරම ඒත්තාලේ සහ ඉරුක්කලම්පිඩ්ඩි යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම සැකකරුවන් සහ හක් බෙල්ලන් තොගය ඉදිරි නීතීමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.