කල්පිටිය මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී 2024 ජනවාරි මස 23 වන දින රාත්‍රී කාලයේ සිදුකල මුර සංචාරයකදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය විස්සකට (520) අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, වයඹ නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රාවක් 2024 ජනවාරි මස 23 වන දින කල්පිටිය, මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර දහසයක් (16) නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම උර තුල අසුරන ලද බීඩි කොළ කිලෝ පන්සිය විස්සයි (520) ග්‍රෑම් හත්සිය හැටක (760) පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිම‍ට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන මෙම බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.