අරාබි මුහුදේදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් මුදවාගැනේ

අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් පිරිස මුදවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, කලාපීය සෙවීම් හා මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සමඟ එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රථිපලයක් වශයෙන්, ෂීසෙල්ස් වෙරළාරක්‍ෂක බලකාය විසින් ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් හය දෙනා (06) අද දින (2024 ජනවාරි 29) මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් නිරුපද්‍රිතව මුදවා ගැනීමට සමත්විය.

2024 ජනවාරි මස 12 වන දින දික්ඕවිට ධීවර වරායෙන් ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ඇති ලියාපදිංචි අංක IMUL-A-2590- CHW දරණ ලොරෙන්සෝ පුතා IV නමැති බහුදින ධීවර යාත්‍රාව අරාබි මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත්, එම යාත්‍රාව මුදවා ගැනීම සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙසත්, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් 2024 ජනවාරි මස 27 වන දින නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම් දීමක් සිදුකෙරිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත එම දැනුම්දීමට වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, සිද්ධිය සම්බන්ධයෙන් ෂීසේල්ස් සමුද්‍රීය සෙවීම් සහ මුදවාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ඇතුළු කලාපීය සෙවීම් සහ මුදවා ගැනීම් මධ්‍යස්ථාන දැනුවත් කර ඒකාබද්ධ මුදවා ගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අරාබි මුහුදු ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන් මැඩපැවැත්වීමේ මෙහෙයුම් (Anti-Piracy Operations) සිදුකරනු ලබන ඒකාබද්ධ සමුද්‍රීය බලකාය (Combine Maritime Force – CMF) සහ කලාපීය නාවික හමුදාවන් වෙතින් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් ධීවර යාත්‍රාව මුදවා ගැනීම සඳහා සහය ලබාදෙන ලෙස දැනුවත් කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාව තොරතුරු හුවමාරු කරගනිමින් සාමූහිකව සිදුකල මෙම මෙහෙයුමෙහි ප්‍රථිපලයක් ලෙස, ෂීසෙල්ස් ආරක්‍ෂක බලකාය (Seychelles Defence Forces) විසින් එරට වෙරළාරක්‍ෂක බලකායට අයත් “TOPAZ” නමැති වෙරළාරක්‍ෂක මුර සංචාරක නෞකාව, එරට ප්‍රධාන දූපත වන “මාහේ” දූපතේ සිට නාවික සැතපුම් 230ක් දුරින් පිහිටි එරට අනන්‍ය ආර්ථික කලාපයට අයත් මුහුදු ප්‍රදේශය වෙත යොමු කර ඇත.

ඒ අනුව, අද දින (2024 ජනවාරි 29) එම මුහුදු ප්‍රදේශයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයේ තිබූ ලොරෙන්සෝ පුතා IV ධීවර යාත්‍රාව මුහුදු මංකොල්ලකරුවන්ගේ තිදෙනෙකු (03) සමඟින් ෂීසෙල්ස් වෙරළාරක්‍ෂක බලකායේ “TOPAZ” වෙරළාරක්‍ෂක නෞකාව මඟින් අත්අඩංගුවට ගෙන මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයේ සිටි මෙරට ධීවරයින් හය (06) දෙනා මෙලෙස නිරුපද්‍රිතව බේරාගැනීමට කටයුතු කර ඇත.

මේවන විට “TOPAZ”නෞකාව මඟින් මුහුදු මංකොල්ලකරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ගත් ධීවරයින් හය දෙනා (06) ෂීසෙල්ස් රාජ්‍යයේ වික්ටෝරියා වරාය වෙත රැගෙන යමින් පවතියි.