කේරළ ගංජා සමඟ සැකකරුවෙක් යාපනයේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 පෙබරවාරි මස 03 වන දින උදෑසන කාලයේ යාපනය, පුන්කුඩුතිව් කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑමයකට (01) අධික තොගයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨයිම්බර ආයතනය කුරිකඩ්ඩුවාන් පොලිස් අනුඛණ්ඩය හා එක්ව, පුන්කුඩුතිව් කුරිකඩ්ඩුවාන් ජැටිය ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී එම පුද්ගලයා සන්තකයේ තිබී කේරළ ගංජා කිලෝ 01 යි ග්‍රෑම් 695 පමණ තොගයක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් 678,000.00 ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 67 ක් වන කොළඹ - 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.