විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 06) උදෑසන කාලයේදී සිදු කල සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙකු (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීමේ අරමුණෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව, අද දින (2024 පෙබරවාරි 06) උදෑසන කාලයේදී උතුරු නාවික විධානයේ වෙත්තලකේනී නාවික ස්ථානගත කිරීම මඟින් යාපනය කදෙයිකාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදු කෙරිණි. එහිදී එම මුහුදු ප්‍රදේශයේ නීති විරෝධි ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ පුද්ගලයෙකු (01) සමඟ ඩිංගි යාත්‍රාවක් (01) සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන මුල්ලියාන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනා ගත් අතර, එම සැකකරු (01), ඩිංගි යාත්‍රාව (01) සහ ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට නියමිතව ඇත.