නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත් කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 1177 කට අධික තොගයක් සහ කෘමි නාශක තොගයක් සමඟ සැකකරුවන් 04 ක් පුත්තලම සින්නපාඩු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 13) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත්කල බීඩි කොළ කිලෝග්‍රෑම් එක්දහස් එකසීය හැත්තෑ හතකට (1177) අධික තොගයක් (තෙත බර සහිත) සහ කෘමි නාශක බෝතල් එකසීය පනහක් (150) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) හා ඩිංගි යාත්‍රා දෙකක් (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන භාණ්ඩ ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය හා ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය එක්ව පුත්තලම, සින්නපාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින (2024 පෙබරවාරි 13) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, එම මුහුදු ප්‍රදේශයේ සැකකටයුතු ලෙස යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට තැත්කල උර හතලිස් එකක (41) අසුරන ලද බීඩි කොළ කිලෝ එක්දහස් එකසීය හැත්තෑ හතයි ග්‍රෑම් හය සීයයක (කිලෝ 1177 ග්‍රෑම් 600) පමණ තොගයක් (තෙත බර සහිත) සහ කෘමි නාශක බෝතල් එකසීය පනහක් (150) රැගත් එම ඩිංගි යාත්‍රා දෙක (02) සැකකරුවන් සිව් දෙනෙකු (04) සමඟ මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට ක‍ටයුතු කෙරිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 42 ත් අතර වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හදුනාගන්නා ලදි. තවද, නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ කිලෝ එක්දහස් එකසීය හැත්තෑ හතයි ග්‍රෑම් හය සීයයක (කිලෝ 1177 ග්‍රෑම් 600) පමණ තොගය (තෙත බර සහිත), කෘමි නාශක බෝතල් එකසීය පනහක (150) පමණ තොගය සහ සැකකරුවන් සිව් දෙනා (04) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරුණු අතර, නාවික හමුදා භාරයට ගත් ඩිංගි යාත්‍රා දෙක (02) ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.