නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන්වා ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කර තිබූ බවට සැකකෙරෙන බිඩි කොළ කිලෝ ග්‍රෑම් 469 කට අධික තොගයක් නොරොච්චෝලේ දී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව, නොරොච්චෝලේ මාම්පුරි වෙරළ ප්‍රදේශයේ අද දින (2024 අප්‍රේල් 02) අළුයම් කාලයේදී සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ගෙන්වා ප්‍රවාහනය කිරීම සදහා සූදානම් කර තිබූ බවට සැකකෙරෙන බිඩි කොළ කිලෝ 469 ග්‍රෑම් 500 ක තොගයක් සහ ලොරි රථයක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මුහුදු මාර්ග ඔස්සේ සිදු කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය මඟින් අද දින (2024 අප්‍රේල් 02) අළුයම් කාලයේදී නොරොච්චෝලේ, මාම්පුරි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමේදී, එම වෙරළ ප්‍රදේශයේ නවතා තිබූ සැකකටයුතු ලොරි රථයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදී එම ලොරි රථයේ තිබී උර දහසයක් (16) තුල අසුරන ලද බීඩි කොළ කිලෝ 469 ග්‍රෑම් 500 ක පමණ තොගයක් සහ එම ලොරි රථය (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බීඩි කොළ තොගය සහ ලොරි රථය (01) ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.