රුපියල් මිලියන 4 කට අධික දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා මන්නාරමේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව මන්නාරම වංකාලේ ප්‍රදේශයේ, 2024 අප්‍රේල් මස 21 වන දින දහවල් කාලයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් දහයකට (10) අධික තොගයක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු (04) සහ වෑන් රථයක් (01) අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන භාණ්ඩ ජාවාරම ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය මන්නාරම අපරාධ විමර්ශන කාර්යංශය හා එක්ව, 2024 අප්‍රේල් මස 21 වන දින දහවල් කාලයේ මන්නාරම වංකාලේ ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, ‍එම ප්‍රදේශයේ ගමන් කල සැකසහිත වෑන් රථයක් නිරීක්‍ෂණය කර පරික්‍ෂාවට ලක්කෙරිණි. එහිදී එම වෑන් රථය තුල සූක්‍ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් තිබූ පාර්සල් පහක (05) අසුරන ලද කේරළ ගංජා කිලෝ 10 ග්‍රෑම් 690 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් හතර දෙනෙකු (04) සහ වෑන් රථයක් (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හතරකට (04) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 30 ත් අතර වයසේ පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගත් අතර, එම සැකකරුවන් හතර දෙනා (04), කේරළ ගංජා කිලෝ 10 ග්‍රෑම් 690 ක පමණ තොගය සහ වෑන් රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.