නීති විරෝධි ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් 09 ක් උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ 2024 අප්‍රේල් මස 24 වන දින අළුයම සිදුකල සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ ඩිංගි යාත්‍රා හතරක් (04), තහනම් දැල් සහ නීති විරෝධී ධීවර ආම්පන්න නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 අප්‍රේල් මස 24 වන දින උතුරු නාවික විධානයේ වෙත්තලකේනි නාවික ස්ථානගතකිරීම මඟින් යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා හතරක් (04) නිරීක්ෂණය කර පරික්ෂාවට ලක් කෙරිණි. එහිදී තහනම් ධීවර දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල සහ නීති විරෝධී ‍ලෙස විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයින් නව දෙනෙකු (09) සමඟ එම ඩිංගි යාත්‍රා හතර (04), තහනම් ධීවර දැල් සහ නීති විරෝධී ධීවර ආම්පන්න මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවද මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 16 ත් 56 ත් අතර වයසේ පසුවන පේදුරුතුඩුව, ඔඩ්ඩුසුඩාන්, පුදුකුඩුඉරිප්පු, මුලතිව් සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් නව දෙනා (09), ඩිංගි යාත්‍රා හතර (04), තහනම් දැල් සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.