නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 13 ක් මන්නාරමේදී නීතියේ රැහැනට

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සහ වන්කාලපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 09 වන දින සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සහ ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හයසිය විසි හතක පමණ තොගයක් (627), ට්‍රෝලර් යාත්‍රා හතක් (07) සහ තහනම් ධීවර ආම්පන්න නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී ධීවර කටයුතු මැඩපවත්වා, නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ අනුව, 2024 මැයි මස 09 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් පේසාලේ නාවික අනුඛණ්ඩය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, මන්නාරම, පේසාලේ ප්‍රදේශයේ සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් අ‍ට දෙනෙකු (08) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් එකසිය අසූවක පමණ තොගයක් (180), ට්‍රෝලර් යාත්‍රා හතරක් (04) සහ තහනම් ධීවර ආම්පන්න අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, 2024 මැයි මස 09 වන දින උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනයට අයත් වන්කාලපාඩු නාවික අනුඛණ්ඩය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, මන්නාරම, වන්කාලපාඩු මුහුදු ප්‍රදේශයේ 2024 මැයි මස 09 වන දින සිදුකල මෙම සෝදිසි මෙහෙයුමේදී, නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් පස් දෙනෙකු (05) සමඟ මුහුදු කූඩැල්ලන් ගණනින් හාරසිය හතලිස් හතක පමණ තොගයක් (447), ට්‍රෝලර් යාත්‍රා තුනක් (03) සහ තහනම් ධීවර ආම්පන්න අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම මෙ‍හෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 ත් 59 ත් අතර වයසේ පසුවන පේසාලේ, මන්නාරම, මංගලඑළිය සහ දර්ගා නගරය යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් දහතුන් දෙනා (13), මුහුදු කූඩැල්ලන් තොගය සහ ට්‍රෝලර් යාත්‍රා හත (07) සහ තහනම් ධීවර ආම්පන්න මන්නාරම ධීවර අධ්‍යක්‍ෂ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.