සේවා වනිතා ඒකකය විසින් විශේෂඥ වෛද්‍ය සායනයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මිය‍ගේ සංකල්පයකට අනුව අද (14) වැලිසර නාවික රෝහල් සංකීර්ණයේදී නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා වෛද්‍ය සායනයක් පැවැත්විණි. එහි සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සහභාගී විය.

සේවා වනිතා ඒකකය සහ අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය සේවා කාර්යාලය හා එක්ව පවත්වනු ලැබූ එම වෛද්‍ය සායනය මාර්තු මාසයට යෙදී තිබූ ලෝක කාන්තා දිනයට සමගාමීව සිදු කරන ලදී. කාන්තාවන් සඳහාම වූ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විතව ප්‍රසව හා නාරිවේද සායන, ශෛල්‍ය වෛද්‍ය, අක්ෂි සායන, විකලාංග වෛද්‍ය, දන්ත වෛද්‍ය, ළමා සායන සහ චර්ම රෝග යන අංශයන්ගෙන් එය පවත්වන ලදී. එම මහඟු අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්, නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී විය. මෙම වෛද්‍ය සායනය සාර්ථක කර ගැනීම සඳහා තම උපරිම දායකත්වය ලබා දුන් විශේෂඥ වෛද්‍යවරුන් වෙත සිය කෘතවේදී ස්තුතිය පුද කළ නාවික හමුදාධිපතිතුමන්, ඔවුන්හට විශේෂ ත්‍යාග ප්‍රධානය කිරීමක්ද එහිදී සිදු කරන ලදී.