වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සේවා වනිතා ඒකකයෙන් ක්‍රියාකාරකම් රැසක්
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා වි‍ජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සේවා වනිතා ඒකකය මගින් ශ්‍රී සම්බුද්ධ තෙමගුල සිහිපත් කරමින් 2016 මැයි මස 21 වන දිනට යෙදී තිබූ වෙසක් පුන් පොහොය දිනය නිමිත්තෙන් සව් පැන් දන්සලක් සහ පහන් කූඩු ප්‍රදර්ශණයක් එදින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ සේවා වනිතා සුභ සාධක වෙළදසැල ඉදිරිපිටදී පවත්වන ලදී.

මෙහිදී නාවික නිලධාරීන්ගේ දරු දැරියන් විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩුවක් සහ සේවා වනිතා ඒකකයට අනුයුක්තව රාජකාරී නියුතු නාවික පුද්ගලයන් විසින් නිර්මාණය කරන ලද වෙසක් පහන් කූඩුවක් ප්‍රදර්ශණය කෙරිණි. තවද, සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමය දිරිමත් කිරීම වෙනුවෙන් මුදල් ප්‍රදානය කිරීමක් ද එහිදී සිදු කරන ලදී. 1830 පැයේ සිට 2200 පැය දක්වා පැවැත්වූ සව් පැන් දන්සල මගින් 3000 කට අධික නාවික සහ සිව්ල් පුද්ගලයන්හට සව් කෝප්පයක රස, සිසිළ විදගැනීමට ද එහිදී අවස්ථාව උදා කර දෙන ලද අතර, මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ නිලධාරීන්ගේ දරු දැරියන් රැසක් ද සහභාගී විය.