නාවික හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම කොළඹදී
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ (11) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථාන අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී, සේවා වනිතා ඒකකය මගින් මෙතෙක් කල් සිදු කරන ලද වැඩසටහන් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. තවද, සේවා වනිතා ඒකකය යටතේ ඇති සියළුම ව්‍යාපෘතීන් සහ එහි මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් එහි ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමේ පහසුව උදෙසා ක්‍රියාකාරී කමිටු, අනු කමිටු සහ අනුශාසනා කමිටු සඳහා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන් පත් කර ගන්නා ලදී. මහා සභා රැස්වීම නිම වීමෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශය මගින් පවත්වනු ලබන රණවිරු රියල් ස්ටාර් වැඩසටහනෙහි පෙරහුරුවන් නැරඹීමටද සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය, එහි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ සාමාජිකාවන්, කාන්තා නිලධාරිනියන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් පිරිසක් ද සහභාගී විය.