සේවා වනිතාවෝ නාවික පෙරපාසල් හි තුන්වන වාරය ආරම්භ කිරීමට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරයි
 

ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, තිස්ස සහ දක්ෂිණ යන ආයතනයන්හි පිහිටි නාවික පෙරපාසල් හි තුන්වන වාරය ඊයේ (29) උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. එයට සමගාමීව සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් නාවික පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථානයන්හි සිටින කුඩා දරු දැරියන් හට අවශ්‍ය ඇද ඇතිරිලි, කොට්ට උර ආදී රෙදිපිළි විෂයයන් නොමිලේ බෙදාදීම සිදු කෙරිණි. එහිදී බෙදා දුන් රෙදිපිළි සියල්ල සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මගපෙන්වීම යටතේ ආරම්භ කරන ලද බතික් මධ්‍යස්ථානයන් මගින් නිශ්පාදනය කරන ලද විෂයයන් වීම ද විශේෂ කරුණකි.

තවද, මෙම උත්සව අවස්ථාවේදී නාවික පෙරපාසල් හි ඉගනුම ලබන දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා පිරිවැය පමණක් ආවරණය වන පරිදි නිල ඇදුම් බෙදා දීම ද සිදු කරන ලදී. ඊට අමතරව නාවික හමුදා සේවා වනිතා ඒකකය යටතේ වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන පරිගණක මධ්‍යස්ථානය මගින් මාස 6 ක කාල සීමාවක් පුරා සාර්ථකව පරිගණක පුහුණු පාඨමාලාවක් හැදෑරූ දරු දැරියන් 48 දෙනෙකු සඳහා සහතික පත් බෙදා දීම ද සේවා වනිතා ඒකකයේ සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය අතින් සිදු කෙරිණි. එම පරිගණක පාඨමාලාව හැදීරීම තුළින් තම දරු දැරියන් ලබා ගෙන ඇති ප්‍රගතිය පිළිබදව දරු දැරියන්ගේ දෙමාපියන් විසින් සිය හෘදයාංගම ස්තුතිය ඉතා කෘතඥපූර්කව ගරු සභාපතිතුමිය වෙත පුද කර සිටින ලදී.