සේවා වනිතාවෝ මුල්ලේරියාව මානසික රෝහලේ රෝගින්ගේ සුවදුක් විමසති
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් සිදු කරනු ලබන සමාජ සත්කාරක වැඩසටහන්හි තවත් එක් අංගයක් ලෙස, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්විම යටතේ එතුමිය ඇතුළු සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් අද (3) මුල්ලේරියාව මානසික රෝහලේ වාට්ටු අංක 7 හි නේවාසිකව ප්‍රථිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසීම සඳහා එක්විය.

එම වාට්ටුවේ අළුත්වැඩියා කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඔවුන් සඳහා ඉතා පෝෂදායී මෙන්ම ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමටද එහිදී සේවා වනිතාවෝ කටයුතු කරන ලදී. තවද, නව වර්ෂය වෙනුවෙන් ඔවුන් වෙත සේවා වනිතා මැහුම් මධ්‍යස්ථානයන් වෙතින් මසා නිම කරන ලද ඇදුම් සහ පිගන් භාණ්ඩ පිරිනැමීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. එමෙන්ම වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ සේවා වනිතා රූපලාවනාගාරයේ රාජකාරී නියුතු කාන්තා නාවිකයන් විසින් ප්‍රථීකාර ලබන රෝගීන්ගේ කොන්ඩය කැපීම ද සිදු කරන ලදී.

එම කර්තව්‍යයන් අවසානයේදී සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ අදහසකට අනුව නාවික හමුදා සංගීත අංශයේ කාන්තා නාවිකයන් විසින් ප්‍රථිකාර ලබන රෝගීන් උදෙසා ගීත ගායනා කිරීම සිදු කරන ලදී. එහිදී ඔවුන් ඉතාමත් ප්‍රීතියට පත් වූ අතර, එම කර්තව්‍යට රෝහල් කාර්යය මණ්ඩලයේ විශේෂ ප්‍රසාදය හිමි විය. ඉන් අනතුරුව ප්‍රථිකාර ලබන රෝගීන් වෙනුවෙන් එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යය මණ්ඩලය විසින් සිදු කරනු ලබන මෙහෙය සහ කැපවීම අගයනු වස්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය විසින් මුල්ලේරියාව මානසික රෝහලේ රෝහල් අධ්‍යක්ෂකතුමා ප්‍රධාන වෛද්‍ය කණ්ඩායම වෙත තිළිණ ප්‍රදානය කිරීමක් ද සිදු කරන ලදී. මෙම සියළුම කර්තව්‍යයන් ඉතා උසස් අයුරින් සංවිධානය කර තිබීම සම්බන්ධයෙන් රෝහල් කාර්යය මණ්ඩලය සිය හෘදයාංගම ස්තූතිය සහ ප්‍රශංසාව නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මිය හට සහ සේවා වනිතා ඒකකයේ සියළුම සාමාජිකාවන් වෙත පිරිණමන ලදී. මෙම අවස්ථාව සඳහා සේවා වානිතා ඒකකයේ සාමාජිකාවන්, නාවික හමුදා නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.