සේවා වනිතාවන්ගේ මගපෙන්වීම මත සුමධුර ධර්ම දේශණයක් පැවැත්වෙයි
නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ මගපෙන්වීම යටතේ සහ එතුමියගේ ප්‍රධානත්වයෙන් අද (17) වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේදී සුමධුර ධර්ම දේශණයක් පැවැත්විණි.
එම පුණ්‍ය කටයුත්ත සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අණදෙන නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ නිලධාරීන්, ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්ව සිටින නාවික රණවිරුවන්, වැලිසර පිහිටි කජුකැලේ නාවික විවාහක නිවාසයන්හි පදිංචිව සිටින නාවික පුද්ගලයින්ගේ දෙමාපියන් ඇතුළු ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ නාවිකයන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.
මෙම කාලෝචිත ධර්ම දේශණාව සඳහා මාවරලේ භද්ධිය ස්වාමීන් වහන්සේ වැඩම කරවන ලද අතර, එම ස්වාමීන්වහන්සේ වෙත පිරිකර වශයෙන් වියළි ආහාර සළාකයක් ද පූජා කෙරිණි. ඉන් අනතුරුව ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්ව සිටින නාවික රණවිරුවන් 10 දෙනෙකු සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ගරු සභාපතිතුමිය අතින් සිදු විය. ධර්ම දේශණය ශ්‍රවණය කිරීම සඳහා සැදැහැ සිතින් පැමිණ සිටි සියළුම පුද්ගලයින් වෙත එහිදී කෙටි ආහාර සහ තේ පැන් මෙන්ම දහවල් දානය පිළිගැන්වීමට ද සේවා වනිතාවෝ කටයුතු සංවිධානය කරන ලදී.
එමෙන්ම ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු, තිස්ස සහ දක්ෂිණ ආයතනයන්හි පිහිටි නාවික පෙර පාසල්හි රාජකාරී කරනු ලබන ගුරුවරියන් සහ සේවා වනිතා රූපලාවන්‍යාගාරයන්හි රාජකාරී කරනු ලබන කාන්තා නාවිකයන් වෙත නොමිලේ නිල ඇදුම් සහ පාවහන් බෙදා දීම සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවන් සඳහා සහභාගී වී සිටි දෙමාපියන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සමග යමුනා විජේගුණරත්න මහත්මිය එහිදී සුහද පිළිසඳරක ද යෙදෙන ලදී. තවද, නාවික පුද්ගලයින්ගේ දරු දැරියන්ගේ ප්‍රයෝජනය සඳහා අලුතින් හදුන්වාදෙන ලද ලිපි ද්‍රව්‍ය ඇතුළු පාසල් උපකරණ සහනදායී මිලක් යටතේ ලබා ගැනීමේ කාඩ්පත හදුන්වා දීම සහ සංකේතවත් ලෙස එය දරු දැරියන් වෙත පිරිණැමීම ද එතුමිය අතින් සිදු විය.











