සේවා වනිතා බේකරිය සහ සත්ව ගොවිපොළ විවෘත කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයකට හා මගපෙන්වීම මත වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ ඉදිකරන ලද සේවා වනිතා බේකරිය අද (8) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සුරතින් විවෘත කෙරිණි.

විශේෂයෙන්ම නාවික පුද්ගලයින්ගේ සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ගේ සුභසාධනය උදෙසා ජංගම යතුරුපැදි සේවයක් මගින් ඉතා පිරිසිදුව, ඉක්මනින් සහ පහසුවෙන් බේකරි නිෂ්පාදන ලබා ගැනීමට මෙන්ම ඒවා සහනදායී මිලකට නාවික විවාහක නිවාස වෙත ගෙන්වා ගැනීමට මෙමගින් අවකාශ සළසා ඇත. ඒ අනුව, නාවික නිවාසයන්හි වෙසෙන නිලධාරීන් සඳහා ක්ෂණික අභ්‍යන්තර දුරකථන ඇමතුමක් මගින් කඩිනමින් මෙම බේකරි නිෂ්පාදන තම විවාහක නිවාසයන් වෙත ගෙන්වා ගත හැක. පාන්, බනිස්, රෝස් පාන් යනාදී බේකරි නිෂ්පාදන මෙම ජංගම යතුරුපැදි සේවාව මගින් ලබා ගත හැක.

තවද, ශ්‍රීලංනානෞ ගැමුණු ආයතනයේ ස්ථාපනය කරන ලද සත්ව ගොවිපොළ ද සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ සුරතින් අද (8) විවෘත කෙරිණි. මෙම අවස්ථාවන් සඳහා නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සභාපති, සත්‍යජිත් විජේගුණරත්න, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් සහ සේවා වනිතා ඒකකය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.