රූපලාවන්‍ය පාඨමාලාව නිමකළ දෙවන කණ්ඩායමට සහතික පත් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි යමුනා විජේගුණරත්න මහත්මියගේ සංකල්පයක් මත ජ්‍යෙෂ්ඨ නාවිකයන්ගේ බිරින්දෑවරුන් හට, රූපලාවන්‍ය පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කෙරිණි. ඒ අනුව රූපලාවන්‍ය පාඨමාලාව අවසන් කරන ලද දෙවන කණ්ඩායමෙහි නාවික පුද්ගලයින්ගේ බිරින්දෑවරුන් 05 දෙනෙකු හට සහතික පත් පිරිනැමීම පසුගියදා (ජූනි 5) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී සිදු කරන ලදී.

තවද, පාඨමාලාව අවසන් වන තුරු ඒ සඳහා අවශ්‍ය කරන සියළුම සුවඳ විළවුන්, ක්‍රීම් වර්ග, ෂැම්පු සහ‍ තෙල් වර්ග නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් නොමිලේ ලබා දීමට ද ගරු සභාපතිතුමිය කටයුතු සම්පාදනය කර තිබිණි.

මෙම පාඨමාලාව මගින් රූපලාවන්‍ය හැකියාවන් වැඩි දියුණු කර ගැනිමටත් ස්වයං රැකියාවක් වශයෙන් එය පවත්වාගෙන යාම පිළිබඳවත් අවශ්‍ය දැනුම ලබාදීම සිදු කෙරේ. මෙම වැඩසටහනේ පළමු අධියර 2016 ඔක්තෝබර් මස 25 වන දින වැලිසර දී ආරම්භ කෙරුණි.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.