පරිගණක පුහුණු පාඨමාලාව හදාරණ ලද දරු දැරියන් හට සහතිකපත් ප්‍රදානය කෙරේ
 

නාවික හමුදා ‍සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම මත, වැලිසර පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ පවත්වාගෙන යනු ලබන පරිගණක පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක පුහුණුව හදාරණ ලද, දරු දැරියන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ඊයේ (19) සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන්, කොළඹ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තවද, මෙයට සමගාමීව ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස, මහනුවර ශ්‍රී ලංකා නාවික‍ නෞකා ශිල්ප සහ ගාල්ල ශ්‍රී ලංකා නාවික නෞකා දක්ෂිණ යන ආයතනයන්හි පවත්වාගෙන යනු ලබන නාවික හමුදා සේවා වනිතා පරිගණක මධ්‍යස්ථානයන්හි පරිගණක පාඨමාලාව හදාරා අවසන් කරන ලද දරු දැරියන්ගේ සහතිකපත් ඔවුන් වෙත ප්‍රදානය කිරීම සඳහා එම ම්‍යස්ථානයන්හි රාජකාරී කරනු ලබන ජ්‍යෙෂ්ඨ නාවිකයන් වෙත ලබා දීම ද එහිදී සිදු කරන ලදී.

එමෙන්ම, එම පරිගණක පාඨමාලාව හදාරන ලද දරු දැරියන්, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමියගේ මෙම උදාරතර කර්තව්‍ය වෙනුවෙන් සිය හෘදයාංගම ස්තුතිය පිරිනමනු වස් ඔවුන් විසින් නිර්මාණය කරන ලද සුභ පැතුම් පත් සහ ප්‍රශංසාත්මක කාඩ්පත් ගරු සභාපතිතුමිය වෙත පිරිනැමීම ද එම අවස්ථාවේදී සිදු කෙරිණි.

මෙම පර්ගණක පාඨමාලාවේ ඇති වර්තමාන වැදගත් කම, එහි වටිනාකම සහ එම පාඨමාලාව හැදෑරීම සඳහා තම දරු දැරියන් හට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් නාවික රණවිරු දෙමාපියන් සිය ප්‍රශංසාව සහ හෘදයාංගම ස්තුතිය සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය ඇතුළු සමස්ථ නාවික හමුදා සේවා වනිතාවන් වෙත පිරිණමන ලදී. එමෙන්ම එම අවස්ථාව ඇමතූ ගරු සභාපතිතුමිය විසින් පැමිණ සිටි සියළු දෙනා හට ඉතා වැදගත් මෙන්ම හරවත් අදහස් හා උපදෙස් රාශියක් ලබා දීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, පරිගණක පුහුණු පාඨමාලාව හදාරණ ලද දරු දැරියන් සහ ඔවුන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.