සේවා වනිතාවන්ගේ මගපෙන්වීම මත ඡායාරූප ප්‍රදර්ශණයක් පවත්වයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, යමුනා විජේගුණරත්න මහත්මියගේ නව සංකල්පයක‍ට සහ මගපෙන්වීම මත අද (24) කොළඹ, ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් ‍සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී ඡායාරූප ප්‍රදර්ශණයක් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක අමාත්‍යංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, වසන්තා ගුණවර්ධන මහත්මිය සහභාගී විය. අනෙකුත් ආරාධිත පුද්ගලයින් ලෙස, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා , ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අනෝමා ජයම්පති මහත්මිය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, ලක්ෂ්මි පල්ලේගම මහත්මිය ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ. ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිත අමුත්තන් විසින් සාම්ප්‍රදායික චාරිත්‍රයක් වන පොල්තෙල් පහණ දැල්වීමෙන් අනතුරුව ප්‍රදර්ශණයට ඉදිරිපත් කර තිබූ ඡායාරූප නැරඹීම සිදු කරන ලදී.

සියළුම නාවික විධානයන් ආවරණය වන පිරිදි නාවික ඡායාරූප ශිල්පීන් විසින් ගනු ලැබූ ඡායාරූප මෙම ප්‍රදර්ශණය සඳහා ඉදිරිපත් කිරීමට මෙහිදී අවස්ථාව ලබා දෙන ලදී. ඒ අනුව මේ සඳහා විවිධ අදහස් හා මාතෘකා යටතේ ඡායාරූප විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කොට තිබිණි. ඒ අතරින් හොදම ඡායාරූප 5 ක් සඳහා අගනා මුදල් ත්‍යාග පිරිනැමීමට ද ගරු සභාපතිතුමිය විසින් කටයුතු සම්පාදනය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්ගේ ළමුන්ගේ සංගමයේ සභාපති, සත්‍යජිත් විජේගුණරත්න ඇතුළු සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.