සේවා වනිතා නව සභාපතිනිය වැඩ අරඹයි
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස පත්වූ තිරුනි සින්නයියා මැතිණිය අද (සැප්තැම්බර් 13) දින නිල වශයෙන් වැඩ භාර ගැනීම සිදු විය. අද පස්වරුවේ නාවික හමුදා මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වශයෙන් රාජකාරී ඇරඹීම සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නාවික නිලධාරිනියන් ඇතුළු කාර්යය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වී සිටියහ.
පසුගිය අගෝස්තු මස 22 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ 21 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා පත් වීමත් සමඟ, නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති තනතුර පුරප්පාඩු වී පැවතිණි. ඒ අනුව නව සභාපතිනිය වශයෙන් පත් වූ තිරුනි මහත්මිය සුභ මොහොතින් සිය රාජකාරී කටයුතු ආරම්භ කෙරිණි. සේවා වනිතා ඒකකය වෙත නව සාමාජිකාවන් එක් වීම ද අද දින සිදු වූ තවත් විශේෂ සිදු වීමක් ලෙස දැක්විය හැක.
තිරුණි සින්නයියා මහත්මිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ඉගනුම හදාරා ඇති අතර, අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩා කටයුතු සඳහා විශිෂ්ඨ දක්ෂතාවයක් දක්වා ඇත. එතුමිය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වශයෙන් ද කටයුතු කර තිබේ. පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය හැදෑරීම ආරම්භ කර ඇති ඇය අනතුරුව ඕස්ට්‍රේලියාවේ ඇඩිලෙයිඩ් විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය ලබා ඇත. ක්ෂේත්‍ර ජීව විද්‍යාඥවරියක වශයෙන් වැඩිදුර පුහුණුව ලබා ඇති එතුමිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයෙන් ස්වභාවික සම්පත් කළමණාකරනය පිළිබඳ විද්‍යාපති උපාධිය හිමි කර ගන්නා ලදී. උසස් පාසල් ගුරුවරියක ලෙස කටයුතු කළ අවධියේ කලක් ශ්‍රී ලංකාවේ පර්යේශණ විද්‍යාඥවරියක ලෙස ද එතුමිය කටයුතු කෙරිණි. වසර 19 ක පලපුරුද්දක් සතු ජීව විද්‍යා හා ගණිත ගුරුවරියක් ලෙස කටයුතු කරනු ලබන සින්නයියා මහත්මිය මහනුවර “කොළඹ” (CIS) ජාත්‍යන්තර පාසලේ විද්‍යා අංශ ප්‍රධානී ලෙස ද කටයුතු කර ඇත. වන ජීවීන් පිළිබඳ මහත් ඇල්මක් දක්වන එතුමිය ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඇති වන ජීවී හා සොබා දහම් සුරැකීමේ සංවිධාන කීපයක සාමාජිකත්වය දරණු ලබයි.



