ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නාවික පෙර පාසලෙහි වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය සාර්ථකව නිමාවේ
 

නාවික හමුදා සේවා වනිතා ඒකකය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු නාවික පෙර පාසලෙහි දරු දැරියන්ගේ වර්ෂ අවසාන විවිධ ප්‍රසංගය ඊයේ (දෙසැමිබර් 05) වන දින ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහභාගී විය.

සම්ප්‍රදායානුකූලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආරම්භ කෙරුණු විවිධ ප්‍රසංගය ඉතා විචිත්‍රවත් අයුරින් පැවැත්විය. දරු දැරියන් විසින් ඉතාමත් දක්ෂ ලෙස ඉදිරිපත් කරන ලද ගායන සහ නර්ථන ඇතුළු අනෙකුත් සියළුම ඉදිරිපත් කිරීම් පැමිණ සිටි සියළු දෙනාගේ ඇගයීමට සහ ප්‍රශංසාවට ලක් විය. ‍ඉන් අනතුරුව මෙම ප්‍රසංගය සඳහා සහභාගී වූ දරු දැරියන් හට උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සන්ධ්‍යා රණසිංහ මැතිණිය අතින් ත්‍යාග ප්‍රධානය කරන ලදී. එමෙන්ම ‍පෙර පාසල් ගුරුවරියන් සහ සහායිකාවන් දිරි ගැන්වීම උදෙසා ඔවුන් හට තෑගි වවුචර් ප්‍රදානය කිරීමක් ද එහිදී සිදු විය. තවද, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හට නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සන්ධ්‍යා රණසිංහ මැතිණිය විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ නිලධාරීන් මෙන්ම පෙර පාසල්හි ගුරුවරුන් සහ දරු දැරියන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ. මෙම අවස්ථාව සනිටුහන් කරමින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිතුමිය හට නාවික පෙර පාසලෙහි දරුවන් විසින් සමරු තිළිණයක් ද ප්‍රදානය ‍කරන ලදී.