ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උළෙල උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
 

නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, සන්ධ්‍යා රණසිංහ මහත්මියගේ උපදෙස් හා මඟපෙන්වීම මත වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ගැමුණු ආයතනයේ නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය පසුගිය මාර්තු මස 29 වන දින එම ආයතන ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිනියක් වන ශ්‍රීමා කොළඹගේ මහත්මිය සහ හිටපු නාවික හමුදාධිපතිවරයෙකු වූ අද්මිරාල් ආචාර්යය ජයනාත් කොළඹගේ මහතා සහභාගී විය. එමෙන්ම, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා, සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, සේවා වනිතා ඒකකයේ නිලධාරීන්, නාවිකයන් මෙන්ම පෙර පාසල් දරු දැරියන්ගේ දෙමාපියන් ද එම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

පෙර පාසල් දරු දැරියන් විසින් ආරාධිත අමුත්තන් පිළිගැනීමෙන් අනතුරුව ක්‍රීඩා උත්සවයේ තරඟ ආරම්භ කරන ලදී. එහිදී, ජවන හා පිටිය තරඟ සහ කණ්ඩායම් තරඟ රැසක් පැවැත්වූ අතර, එම අවස්ථාව විචිත්‍රවත් සරඹ සංදර්ශණයකින් ද අලංකාර විය. තරඟ අවසානයේ දක්ෂතා දැක්වූ දරු දැරියන් අගයනු වස් ඔවුන් හට කුසලාන සහ සහතික පත්‍ර පිරිනැමීම පැමිණ සිටි ආරාධිත අමුත්තන් අතින් සිදු කෙරිණි.

මෙම උත්සව අවස්ථාවට සහභාගී වීම සංකේතවත් කරනු වස් පෙර පාසල් දරුවන් විසින් නිර්මාණය කරන ලද සමරු තිළිණයක් සේවා වනිතා ඒකකයේ වත්මන් සභාපතිතුමිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ සේවා වනිතා ඒකකයේ හිටපු සභාපතිතුමිය වෙත පිරිනමන ලදී. තවද, ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ ජ්‍යෙෂ්ඨ අධීක්‍ෂණ නිලධාරී විසින් සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සන්ධ්‍යා රණසිංහ මහත්මිය වෙතද සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි.

මෙයට සමගාමීව ගාල්ල, ශ්‍රී ලංකා නාවික නෞකා දක්‍ෂිණ සහ ත්‍රිකුණාමලය, ශ්‍රී ලංකා නාවික නෞකා තිස්ස යන නාවික පෙර පාසල්හි වාර්ෂික ක්‍රීඩා උත්සව එදිනම විධාන ආඥාපතිතුමන්ලාගේ භාර්යාවන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට ද කටයුතු කොට ඇත.

ශ්‍රීලංනානෞ දක්‍ෂිණ නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රීලංනානෞ ගැමුණු නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශ්‍රීලංනානෞ තිස්ස නාවික පෙර පාසලේ වාර්ෂික ක්‍රීඩා උත්සවය